දේශීය මීමැස්‌සන් කෙරෙහි ආනයනික පළිබෝධනාශකවල බලපෑම සොයාබලයි

මෑතක දී මෙරට ආරම්භ කළ අධ්‍යයනයකට අනුව මීමැසි ගහණය අඩු වීමට ප්‍රධාන හේතුවක්‌ ලෙස පළිබෝධනාශක භාවිතය හඳුනාගෙන ඇත.

පරාගණයට දායක වන මීමැස්‌සන් හට පළිබෝධනාශකවල බලපෑම් සම්බන්ධ පර්යේෂණයක්‌ Apis mellifera නම් විදේශීය මීමැසි විශේෂයක්‌ යොදාගෙන සිදු කර ඇති නමුත් Apis cerana වැනි දේශීය ලෙස බහුලව වෙසෙන මීමැසි විශේෂවලට, ආනයනික පළිබෝධනාශකවල බලපෑම පිළිබද පුළුල් අධ්‍යයනයක්‌ ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ සිදු කර නොමැත. මේ අඩුව පිරවීමට ඉදිරිපත් වූ මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පාරිසරික විද්‍යා සහ පාරිසරික ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය සී. අයි. ක්‌ලේටන් සහ මහාචාර්ය සුරේශ් බෙන්ජමින් ඇතුළු පර්යේෂණ කණ්‌ඩායම විසින් ජාතික පර්යේෂණ සභාවේ මූල්‍ය අනුග්‍රහය සහ මහාචාර්ය ආර්. ඩබ්ලිව්. කේ. පුංචිහේවා මහතා ගේ උපකාර යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දේශීය මීමැස්‌සන් හට විදේශීය පළිබෝධනාශකවල බලපෑම පිළිබද පර්යේෂණ ආරම්භ කරන ලදි.

මෙහි දී ප්‍රධාන ලෙස Apis cerana ගහණයක සිටින මීමැස්‌සන් ගේ ශරීර වර්ධනය, ඔවුන් ගේ ජානවල ක්‍රියාකාරිත්වය, පිසාසැරි රටාව, ප්‍රජනන රටාව, පරිසරයට ඔරොත්තු දීමේ හැකියාව, මතක ශක්‌තිය සහ මීපැණි නිෂ්පාදන හැකියාව වැනි වැදගත් සාධක කෙරෙහි පළිබෝධනාශක වර්ග හයක බලපෑම විශ්ලේෂණය ආරම්භ කරන ලදි.

මීට අමතරව පළිබෝධනාශක නිසා මී මැස්‌සන් නිපදවන මී පැණිවල කෘෂි රසායනිකවල අවශිෂ්ට (residues) පැවතීම ද පරීක්‌ෂාවට ලක්‌ කිරීමට ද නියමිත ය. මේ පර්යේෂණ සාර්ථකව අවසන් කිරීම මගින් දේශීය මී මැසි විශේෂයන් හට පළිබෝධනාශකවල බලපෑම නිශ්චිතව අනාවරණය කරගත හැකි වන අතර ම, එය දීර්ඝකාලීනව ශ්‍රී ලාංකික කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීමට ඉවහල් වනු ඇතැයි පර්යේෂකයෝ විශ්වාස කරති. එපමණකට සීමා නො වී, ප්‍රධාන ලෙස ස්‌වාපරගනය වැනි ස්‌වාභාවික ක්‍රම මාර්ගයෙන් භෝග අස්‌වැන්න ලබාගන්නා ගොවීන්ට අමතරව මී පැණි සහ මී ඉටි කර්මාන්තයේ යෙදෙන්නන්ට ද තම අස්‌වැන්න ඉහළ නැංවීමට මේ පර්යේෂණයෙන් ලැබෙන ප්‍රතිඵල ප්‍රයෝජනවත් වනු ඇත.

මීමැස්‌සන් පාරිසරික වශයෙන් මෙන්ම කෘෂිකාර්මික වශයෙන් ද ඉතා වැදගත් සත්ත්ව කොට්‌ඨාශයක්‌ ලෙස අර්ථ දැක්‌විය හැකි ය. මන්ද යත් එළවළු සහ පලතුරු බෝගවලින් 80%ක්‌ ම පරාගණය සිදු කරනු ලබන්නේ මීමැස්‌සන් විසිනි. සාර්ථකව පරාගණය සිදු වී ශාකවල ඵල හටගැනීම සදහා මීමැස්‌සන් ප්‍රජාවේ මනා පැවැත්ම ඉතා උපකාරී වේ. එහෙත් අහිතකර පාරිසරික, කෘෂිකාර්මික සහ ආර්ථික ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක්‌ ලෙස ලෝක මීමැසි ගහණය වසරින් වසර අඩු වෙමින් පවතින බව මේ වන විට අනාවරණය වී ඇත.

(මහනුවර, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ, විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාප්ති ඒකකයේ, සන්නිවේදන සහ මාධ්‍ය නිලධාරී ප්‍රදීප් පියතිලක මහතා විසින් යොමු කරන ලද පුවතකි).

Advertisements